Followers

Thursday, June 22, 2017

පරාක්‍රම කොඩිතුවක්කු


අද අවශ්‍ය වන්නේ ආර්ථික නායකත්වයක්

Wednesday, ජුනි 21, 2017 - 01:00 Dinamina

පරාක්‍රම කොඩිතුවක්කු

විශිෂ්ට ගණයේ සිංහල කවියකු වන ඔහුගේ “පොඩි මල්ලියේ” කෘතිය විචාරක ප්‍රසාදයට ලක් වූ අතර, “ඔටුන්න හිමි කුමාරයා” ඉන් අනතුරුව පළ කෙරිණි. රශ්මි: භාව කාව්‍ය,දිවමන් ගජමන්,දේවින්ගේ මිනිසුන් වැනි කෘති පළ කළ ඔහු, ඔබ සමඟ,ක්ලැරා වැනි ආන්දෝලනාත්මක නවකතා බිහි කළේ ය. 'රෝස මල් රතුයි ප්‍රියේ - ගීත ලෝකයේ විප්ලවය ' ඔහුගේ නවතම කෘතියයි. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

ඔබේ සෑම පොතකම වාගේ පිටකවර හා ඇතුළත නිමාවෙහි ඉතා විචිත්‍රකරණයක් පාඨකයා දකිනවා. පොතකින් පොතක් වෙනස්. මේ පිළිබඳ කතා කළොත්?

මම ඒ ප්‍රශ්නය ආදරයෙන් බාර ගන්නේ එය විග්‍රහයක් ඉල්ලන ප්‍රශ්නයක් නිසයි. අපේ රටට නවීන මුද්‍රණ ශිල්ප ඇවිත් ඇතත් තාමත් නිර්මාණාත්මක මුද්‍රණ කලා ශිල්පයන් ගොඩනැගී නැති බව මගේ අත්දැකීමයි. තවමත් පිටකවර, පොත් සිතුවම්, මුද්‍රණ රටා, මෝස්තර ආකෘතීන් විවිධත්වයෙන් දියුණු වී නැහැ. වික්‍රමසිංහ, අමරසේකර, ජයතිලක, සරච්චන්ද්‍ර වැනි සම්භාව්‍ය සාහිත්‍යධරයින්ගේ පවා 50 – 60 -70 දශකවල පළ වූ පළමු පොත්වල පිටකවර හා ඇතුළත නිමාවන් බලන්න. ඒවා කෙතරම් දුර්වලද? ඒකාකාරයි. අදත් අපේ රටේ බහුතරයක් ලේඛකයන්ට තමන්ගේ ලිවීමේ කලාව ගැන මිස, මුද්‍රණ කලා ශිල්පය ගැන අවබෝධයක් නැහැ. බොහොමයක් පොත්වල චරිතයක මුහුණුවරක් නැහැ. දියුණු රටවල පොත් ප්‍රකාශකයන් පොත් මුද්‍රණයේ දී පොතේ චරිත මවා පෑමට දැඩි ප්‍රයත්නයක් යොදවනවා. පොත වෙ‍ළෙඳ පොළේ අලෙවියට තබන භාණ්ඩයක්. එය මුද්‍රිත කඩදාසි එකතුවක් නෙමෙයි. පොතකට ද්‍රව්‍යමය ශරීරයක් තිබෙනවා වාගේ ම, මානසික මුහුණුවරක් තිබිය යුතුයි. නරක පිටකවරයක් කියන්නේ මුහුණක් නැති පොතක්. බටහිර පොත් ලෝකයේ පොත්වල නිමැවුම් ශිල්ප කලාව වෙනම ශිල්පයක් ලෙස ඉගැන්වෙනවා. Chip Kidd නම් පිටකවර ශිල්පියා මෙහෙම කියනවා. “... පොත් වෙළෙඳාම විශිෂ්ට ප්‍රකාශන කලාවක්. අසාර්ථක පිටකවරය නිමාව නිසා ම හොඳ පොතක් වෙළද භූමියේදී ගිලී යනවා. ප්‍රකාශකයා, ලේඛකයා හා පාඨකයා යන තුන්දෙනාටම පිටකවර ශිල්පියා වගකිව යුතුයි.”

මේ කියමන්වලින් පෙනී යන්නේ, අමෙරිකාවේ පොත් පිටපත් 6000කින් ප්‍රකාශකයින් මුද්‍රණයට අනුමත කරන එක් පොතක් ගැන ඔවුන් කෙතරම් අවධානයක් දක්වනවාද යන්නයි. මාක්ස් පවා තම පක්ෂයේ පුවත්ප‍තේ කවියක් පළ කිරීමේ දී එය මුද්‍රණය විය යුතු අකුරු, රටාවන්, නිමාව ගැන පිටු සංස්කාරකට වෙනම උපදෙස් දී තිබෙනවා. සේකර හා සිරි ගුණසිංහගේ පොත් කවර නිමාව උසස් වූණේ, ඔවුන් සතුව තිබුණු චිත්‍ර කලා අව‍බෝධ ඥානය නිසයි. ඉන් පසු හොඳ පිටකවර ශිල්පීන් කීප දෙනෙක් බිහිවු ණා.

ඔබේ පොත්වල පිටකවර නිමාව ගොඩනගා ගත්තේ කොහොමද?

මම මුලදී පුහුණු චිත්‍ර ගුරුවරයකු නිසාත්, බටහිර පොත් මුද්‍රණ කලාව ගැන යම් හැදෑරීමක් කර තිබුණු නිසාත්, මා මෙතෙක් පළ කර ඇති පොත් 25ම ආකෘති හා නිමැවුම් රටා සකසා ගැනීමේ දී මාත් මැදිහත් වුණා. එයින් මා ලැබුවේ ආස්වාදයක්. ගුණසිරි කොළඹගේ ,ස්වර්ණසිංහ ,කරුණාසිරි විජේසිංහ වැනි ඉහළ සිත්තරුන් හා එක්වීමේදීත්, ප්‍රසාද් සමරසේකර, ශාන්ත හේරත්, සමන් ඉන්දික වැනි පරිණත ශිල්පීන්ට සම්බන්ධ වීමේදීත් මට අවශ්‍ය නිමාව මම ඔවුන්ගෙන් ලබා ගන්නවා.

1970 වනවිට නවීන මුද්‍රණ ශිල්ප විධි ආවා විතරයි. එදා ලබාගත හැකි හොඳ ම මුද්‍රණාලයක් වූ ‘දීපානි’ මුද්‍රණාලය යි මගේ මුල් පොත් තුනම මුද්‍රණය කළේ. ඒ පොත් තුනේ ම පිට කවර සිතුවම් හා අකුරු රටා කළේ මම ම යි. 1973 අකීකරු පුත්‍රයකු ගේ ලෝකය කවි පොතේදී, අසම්මත චරිතයක් පොතේ මුහුණුවරම ලබා දීමට මට අවශ්‍ය වුණා. එදා අකුරු අමුණන බාසුන්නැහේලා සමඟ දිවා රෑ වැඩට සහය වුණා. පොතේ දකුණු පැත්තේ ඉහළ සහ පහළ දෙ‍කෙළවරේ ත්‍රිකෝණාකාර කැපුම් දෙකක් කිරීමට තිබුණු බ්ලේඩ් යන්ත්‍රයට, එක එක පොත බැගින් දමන්නට දැඩි වෙහෙසක් දැරුවා. ඒ ආකෘතියේ පොතක් ඉන් පසු බිහි වී නැහැ. ඇතැම් පොතක කවරයක් ඇතුළත සිතුවමක් සඳහා ඉතා පරණ පත්තර කැබැල්ලක්, ගසක කොළයක්, පිහාටුවක්, අන්තර්ජාලයේ පින්තූරයක් පවා පරිගණක ශිල්පියාට ලබා දී විශේෂ නිමාවක් සකසා ගත්තා. මෙකල බිහිවන බොහෝ කවි, නවකතා පොත්වල පිටකවර ඇතුළත නිමාව දකින විට දුකක් ඇති වෙනවා. අද සෑම නිර්මාණකරුවකුටම මුද්‍රණ ශිල්ප මෝස්තර කලාව ගැන යම් තේරුමක් තිබෙනවා නම් ඉතා හොඳයි.

වරෙක,ඔබ විසින් රචිත'දිවමන් ගජමන්' කාව්‍ය කෘතියේ පිටකවරය සඳහා සම්මානයක් හිමි වුණා. ඒ විශේෂත්වය පිළිබඳ කතා කළොත්?

හොඳ ම පිටකවරයක් ලෙස සම්මානය ලැබූ මගේ ‘දිවමන් ගජමන්’ කවි පොතේ පිටකවරය සිතුවම් කළේ විශිෂ්ට සිත්තරකු වන ගුණසිරි කොළඹගේ. මා ඔහුට පැහැදිලි ක‍ළේ,එම පිට කවරය මඟින්, ගජමන් නෝනාගේ දැඩිතර පීඩිත ආධ්‍යාත්මය පිළිබිඹු විය යුතු බවයි. ගජමන් නෝනා ගැන සමාජයේ ඇඳ තිබුණු අනුරාගික ස්ථූල දේහය වෙනුවට, ඇගේ බුද්ධි ශක්තිය පළ කරන ලොකු දෙනෙතක්, සිහින් උස් කයක් ප්‍රතිනිර්මාණය කළ යුතු බවයි. දෙනිපිටිය නුගේ අරළුවැල් ඇගේ සිරුරේ වෙළී ඇති සැටි... ඇගේ දහසක් සිතුවිලි සේ ඉහට උඩින් හංස රංචු පියඹායන සැටිත්... දෙනිපිටිය වැව ඇය ළඟ රැලි නංවන සැටිත් පිළිබිඹු වූ ඒ පිටකවරය, පාඨක සමාජයම සලිත කළා. හෙන්රි ජයසේන මහතා මට දිගු ලියුමක් එවමින් ලියා තිබුණා. “... පිටකවර සිතුවම මාව කම්පනය කළා. සැබෑ ගජමන් නෝනාගේ ආත්මය මැවී පෙනුණා. මට සිහි වුණේ බටහිර චිත්‍රපට නිළියක් වූ ෂර්ලි මැක්ලීන්ගේ අරගලකාරී රඟපෑමයි. මෙය නම් අලුත් ම සංකල්පීය ජයග්‍රහණයක්.” පොතක පිටකවරයට හා නිමාවට, පොතටත්, පොත් සමාජයටත් මහත් බලපෑමක් කළ හැකියි. අද රොබෝ යන්ත්‍රයක මුහුණුවර පවා සැලැසුම් කරන්නේ චිත්‍රකාරයන්. අලුත් කාරයක ඇතුළත ඇති සුවඳ වැනි ‘පොත් සුවඳක්’ පාඨකයා අවදි කරනවා.

ඔ‍බේ ප්‍රධාන සාහිත්‍යාංගය කවිය යි. ඔබ දෙස් විදෙස් සම්මාන ලබා ඇත්තේ කාව්‍යයට යි. ඒ අතරම ඔබ නවකතා, කෙටිකතා ලියනවා. ගීත රචනා කර තිබෙනවා. සාහිත්‍ය විචාර වගේම, දේශපාලන විචාර කරනවා. මෙසේ විවිධ ප්‍රබන්ධවලට ගමන් කරන්නේ ඇයි? ඒ කොහොමද?

එය තැනින් තැනට යන ගමනක් නෙමෙයි. එය තමා නිර්මාණකාරයකුගේ සංකීර්ණ පැවැත්ම. එක ම නිර්මාණකරුවා විවිධ ප්‍රකාශන මාර්ගවලට ගමන් කිරීම. එහි මහිමය නම්, ඒ විවිධ මාර්ග එක් එක් මංසන්ධිවලදී හමු වීමයි. ඒ වගේම, සියලු කලාවන් අතරින් සංගීතය හා කවිය සෞන්දර්ය මූලයක් හා සමානයි. කෙටිකතාවටත්, නව කතාවටත්, කවිය, සංගීතය එක් වෙනවා. ඒ සෞන්දර්ය රසායනය නැතුව ගියොත්, නවකතාව, චිත්‍රපටය, නාටකය ඒ සියල්ල ආත්මහීන වෙනවා. විරාගය චිත්‍රපටයේ අරවින්ද රෝගාතුරව, බතීගෙන්, සරෝජිනීගෙන් සාත්තු ලබන නිහඬ රූපරාමු පෙළ පරීක්ෂා කර බලන්න. ඒ මඟින් හෘදය සංගීතයක් ගමන් කරනවා. ගැයුම් වැයුම් නැති රැයෙහි පාළු ගෙවල් මණ්ඩියක් හරහා තිස්ස ගමන් කරනවා දක්වන වැනුමක්, යුගාන්තය නව කතාවේ තිබෙනවා.

... හිස් අසුන් බහුල විදුලි රිය සීනුව හඬව හඬවා මහ පාර දෙදරවමින්... බීමත් වූ රික්සෝකාරයකු දොඩවමින්... හතරවන හරස් වීදිය පටන් ගන්නා තැන මහපාරේ මූසල වාතාවරණය... රා තැබෑරුම රා ගඳ... ඈතින් වූ බෝරුක ඉඳහිට මහා සුසුමක් හෙළන්නාක් මෙන් සරසර හඬ නගා... පාළු බස් නැවතුම් පළ... වැසිකිළියෙන් නගන දුගඳ... මස් කඩයෙන් පැතිරෙන ලේ ගඳ... අපිරිසුදු තේ වතුර කඩ...

මෙහිදී වික්‍රමසිංහ මහා අපිරිසුදු සමාජයක චිත්‍රයක් අපේ ඇස් ඉදිරියෙහි එල්ලනවා.

මේ දූෂිත සමාජය පිරිසුදු කිරීමේ සිහිනය දකින තිස්සගේ ජීවිතය, හුදෙකලාවක ලබන පීඩනය කොඳුරා කියන කවි හඬක්, සිතුවමක් ඒ ලිවීම තුළ ගැබී වී නැද්ද?

කවිය තුළ ම සංගීතය හැසිරෙන අන්දම මේ කවිය තුළ පරීක්ෂා කරන්න පුළුවන්.

...එවිට මට ඇසේ
මල් පිපෙන හැටි
මම සවන් දී හිඳිමි
සඳ නැගෙන හැටි
ඉර බහින සද්දය
මිහිරි සංගීතයකි
යාන්තම් මඳහසක
රත් දෙතොල් ඇරෙන හඬ
මේ සියල්ලම ඇසෙත
සවන් දෙනුවන්ම වේ
එවිට ලියවෙන කවිය
මගෙ හොඳ ම කවිය වේ
(ලියනගේ අමරකීර්ති
හමුවෙද අපේ වෙණ තත)

විඥානය පිබිදීම තුළ, නිර්මාණ කලාව තුළ අපේ පංචේන්ද්‍රියයන්, ඉන්ද්‍රියයන් 150ක් වන බවත්, අපේ ද්විමානය හෝ ත්‍රිමානය 12 මානයක් වන බවත්, සත්ගුරු වාසුදේවන් ඉසි පවසනවා. වැන්ගෝ ගේ කම්කරු චිත්‍රවලින් අපට වැඩ කරන මිනිසුන්ගේ කතන්දර හඬ ඇසෙනවා. නිර්මාණකාරයා විවිධ කලාවන්ගේ සීමා කඩඉම් ඉක්මවමින් ඒ සියල්ල සමඟ ‘සමග විසුම’ යන විශ්වීය වින්දනයට ගමන් කරනවා. මෙය කලාවේ මහා උමඟට ඇතුළුවීමේ දී සිදුවන දෙය යි. සියලු කලාවන් අපේ විඥානය තුළ ඒකාත්මික වීමට දඟලනවා. අනාගතයේදී සාහිත්‍යාංග හඳුන්වන වෙන වෙන නාම පද නැති වී යාවි.

ප්‍රකට සාහිත්‍යකරුවකු වුවත් ඔබමෑතක සිට දේශපාලන විචාරයට වැඩි නැඹුරුවක් දක්වන්නේ කවර අදහසකින්ද?

අදහස් 7 ක් කියනවා.

1.එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ වී යහපාලනයක් පිහිටුවීම මේ රටේ ඉතිහාසය තුළ නිපදවුණු දියුණුම දේශපාලන නිර්මාණයයි. එය දකින දර්ශනය තිබුණේ චන්ද්‍රිකා ළඟයි. පක්ෂය තුළ සිටින දූෂිතයන් නිසා දැන් එය අබල දුබල වෙමින් පවතින්නේ

2.ජන දිවිය පීඩාවට පත් කරමින් නීතියට ඉහළින් ගලන මේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ විරෝධී නරුමවාදයක්. රට ගොඩනැගීමට ඊට නොනැමී දැඩි පාලනයකට නායකත්වය යොමුවිය යුතු බව මහජන මතය යි.

3.අද ලොව සෑම රටකටම අවශ්‍ය වී ඇත්තේ දේශපාලන නායකත්වයක් නොව ආර්ථික නායකත්වයක්. මා එය දකින්නේ රනිල් වික්‍රමසිංහ හා පාඨලී චම්පික තුළයි

4. අගතිගාමී පටු භික්ෂූ බලවේග පාලනය නොකළහොත් මේ රටේ බුද්ධිමත් සංස්කෘතියක් ගොඩනැගිය නොහැකියි.

5. අද මේ රටේ පවතින්නේ මහජනයා පත් කළ ආණ්ඩුවකට විරෝධී මාධ්‍ය යුද්ධයක්. එය අද අෙමරිකාවේ නව ජනාධිපතිට එරෙහිව බටහිර රටවල් දියත්කොට ඇති මාධ්‍ය යුද්ධයට සමානයි. පෞද්ගලික රූපවාහිනී ජරාවාහිනි. රජයේ රූපවාහිනිය මෝඩවාහිනියක්. ඒ වැඩසටහන් සම්පාදකයෝ මෝඩ නීතිඥයෝ. ඔවුන් පන්නා දමා ජන සමාජය ශක්තිමත් කරන ශ්‍රී ලංකා ගෝලීය රූපවාහිනියක් ගොඩනගාගත යුතුයි. ඊට අවශ්‍ය ප්‍රඥාවත් දැක්මත් මේ දේශපාලනය තුළ පහළ වී නොමැත.

6. බොරු ජාත්‍යන්තරවාදීන්ට නොව පුරවැසිබලය උදෙසා පෙනී සිටින ප්‍රබුද්ධයින්ට සමාජය සවන්දිය යුතුයි. මුද්‍රිත මාධ්‍ය එය ශක්තිමත් කරන්නට යොමුවීම අවශ්‍යයි.

7.පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ කළමනාකරණයට බාර දී ජනතාව ඒ බදු බරින් නිදහස් කරගත යුතුයි. තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පූර්ණ අනුග්‍රහය ලබාදීම ඉතා අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාජ විරෝධ දේශපාලනය එහි ප්‍රපාතයට ඇවිත් අවසන්.

ඔබේ නවතම ග්‍රන්ථය ‘රෝස මල් රතුයි ප්‍රියේ - ගීත ලෝකයේ විප්ලවය. ඔබ මීට පෙර ජෝති රශ්මි රාත්‍රිය කාව්‍යය, ක්ලැරා නවකතාව රචනා කළේත් අපේ සංගීතය ගැන නව ප්‍රවාදයක් ගොඩනැගීමට යි. ඔබේ අලුත් පොතත් පිදුම ලබා දී ඇත්තේ, දිගු ගවේෂණ 5ක් සිදුකර ඇත්තේත්, ප්‍රෙඩී, සුනිල් පෙරේරා, දීපාල් සිල්වා, සී.ටී හා ඩැල්රින් ගැනයි. පොතේ පෙර වදනට ඔබ ලියා ඇත්තේ This is it කියලයි. මේ ගැන අදහස පැහැදිලි කළොත්?

මිනිසුන් සමඟ කතා කරන සමාජ සිංදු කලාවක් ගොඩනංවා ගැනීමට ඔවුන් කළ සමාජ සත්කාරය ගැන පුළුල් ගවේෂණයක් කිරීමෙනුයි ‍මා මේ පොත සම්පාදනය කළේ. ඒ සමඟ බටහිර ගීත කලාවේ මහා ගමන්මඟ ද මෙහි ආස්වාදනීය ලෙස හෙළි කෙරෙනවා. ඒ ප්‍රවාදය මේ සමාජය තුළ තිබුණේ නැහැ. මේ ඒ අහිමි වූ ප්‍රවාදය කියා පෙන්නීමටයි.

This is it කියා සටහන් කළේ. ප්‍රෙඩී, ක්ලැරන්ස්, සීටී එම්.එස්, ඩැල්රින්, ඉන්ද්‍රානි ගැයූ දේ ගැයූ හඬවල් අපේ සංගීත සමාජය තේරුම් ගත්තාද? ඒ සේරම පීචං කරලා, ව්‍යාජ සුභාවිත කලාවක් තැනීමට වටරවුමේ ගිහින්, සංගීත ප්‍රවාහය ගල් ගැහිලා. අද පැරැණි සිංදු හමුවේ දණින් වැටෙනවා.

ඉතිරි වී ඇත්තේ අමරදේව වන්දනාව විතරයි. බටහිර සංගීත සම්ප්‍රදායට පස්ස හරවලා, ඉන්දීය රාග කොටුවේ සිරකරුවන් වූ පිරිසකට නව ලොව නිදහස් සංගීත කලාවන් හා හෙට දවසට ගායනා කළ හැකිද? අද මුළු ලොව එක්වී අවසන්. පටු මතවාදවල සිර නොවී ඇත්ත ස්වභාවික මිනිසුන් ලෙස ක්‍රියා කළ යුතුයි. විශ්වීය ලෙස සිතිය යුතුයි. ACT NATURALY – THINK GLOBALY. එයයි අද දවසේ ජීවන සූත්‍රය.

Monday, May 29, 2017

වතුර බැස යනු ඇත, අපි ගුලි කණු ඇත!!

වතුර බැස යනු ඇත
බල පෙරේතයෝ හැන්ගුණු බිම් ගෙයින් එලියට එනු ඇත
පච රෝල් කර අත්හරිනු ඇත
ඒවා මාධ්ය විසින් හොඳ දවටනවල ඔතා විකුණනු ඇත
අපි ගුලි කණු ඇත
මහ ජනයාගේ රීරි මාංශ උරා බොනු ඇත
දස ලස්ස ගනන් කාන්තාවන්
අනුනගෙ කුස්සිවල දාසකම්වලට යවනු ඇත
උන් අත පිරිත් නූල් බැඳෙනු ඇත
නැවත වතුර ගලන තුරු,
කඳු නාය යන තුරු
උන් වේදිකාවේ රඟ දෙනු ඇත